ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනියට එරෙහි පෙත්සම මැයි 18 දා විභාගයට ගනී

Featured Sri Lanka

ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද  බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ  එම උසස්  වීම  බල රහිත කරන ලෙස ඉල්ලා  ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙදෙනකු  විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි 18 වැනිදා සළකා  බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) නියම කළේය. 

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු,  ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උසස්වීම ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් තමා අධිකරණයෙන් අපේක්ෂා කරන බව කියා සිටියේය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර නියෝජ්‍ය පොලිස්පතිවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  කියා සිටියේ මෙම නඩුකරයේ පළමුවන පෙත්සම්කරු පොලිස් නීති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත් මෙම නඩුවට අදාළ ලේඛන මේ දක්වා තමන්ට ලැබී නොමැති බවත්ය.

ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස නීතිඥ වර්ණසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමෙන් ඉල්ලා සිටින මෙම අතුරු තහනම් නියෝගයට අදාළ විරෝධතා අද ( 16) දින සිට සති තුනක් ඇතුළත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දෙන ලදී.