ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ අයිතිවාසිකම් කඩවීම් සොයාබැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Featured Political Sri Lanka

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.


රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය මෙම ලිඛිත ඉල්ලීම කර තිබේ.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා පැවසුවේ මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අංක 03 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයටද ඇතුළත් කර ඇති බවයි. එම යෝජනාව සඳහා රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියට අමතරව අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි ,රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන ආචාර්‍ය හරිනි අමර්සූරිය, රෝහිණි කුමාරි විජේරත්න, තලතා  අතුකෝරළ, ගීතා සමන්මලී කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ යන මහත්මීන්ද අත්සන් තබා තිබේ.