භූමිතෙල් සහනාධාරය අවභාවිත නොකර ප්‍රතිලාභීන්ට ලබාදෙන ලෙස අගමැතිගෙන් උපදෙස්

Featured Political Sri Lanka

දෙදහස් විසි එකේ පෙබරවාරි 05 වන දින අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බද්ද නැවත සකස් කිරීම සඳහා පත්කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට මුදල් අමාත්‍යංශයේ දී රැස්විය.

භූමිතෙල් සහනාධාරය අවභාවිතයකින් තොරව සෘජුව ම ගොවීන්, ධීවරයින් ඇතුළු ඉලක්කගත ප්‍රතිලාභීන් වෙත ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙසත් ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් අග්‍රාමාත්‍යතුමා අදාළ නිලධාරීන්ට එහි දී උපදෙස් දී ඇත.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ සාමාජික අමාත්‍යවරු වන උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු විෂය භාර අමාත්‍යාංශවල ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහු රැසක් එක්ව සිටියහ.