වසර 6 කට පසුව වතු නිවාස ගම්මාන වැඩසටහන ජනපතිගේ හා අගමැතිගේ උපදෙසින් දැරණියගල දී ඇරඹේ

Featured Political Sri Lanka

2015 න් පසුව වතු නිවාස ගම්මාන ඉදිකිරීමේ වැඩසටහන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි 8 වැනි දා දැරණියගලින් ආරම්භ කෙරිණ.

රටේ ආර්ථිකයට දිරිදෙන ප්‍රධාන අපනයන භෝග වගාවක් වන තේ වතුවල ලැයින් කාමර පේළිවල ජීවත්වන කම්කරු පවුල් සඳහා නව නිවාස ලබාදීමේ වැඩසටහනක් වශයෙන් මෙය දැරණිගල, මාලිම්බොඩ තේ වතු යායෙන් ආරම්භ කිරීම විශේෂත්වයකි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මගපෙන්වීම අනුව වතු කම්කරුවන් උදෙසා ඉන්දීය රජයේ ආධාර මත නාගරික සංවර්ධන අධිකාරිය මෙම වතු නිවාස ඉදි කරනු ලබයි.නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිකා වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි සුදත් මංජුල ඇතුළු දේශපාලන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු මෙම වතු නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අතිගරු ජනාධිපතිතුමාගේ “ගම සමඟ පිළිසඳර” වැඩසටහන යථාර්ථයක් බවට පත් කරමින් “සතුටින් ජීවත් වන පවුලක්” ගොඩනැගීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ.

එම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නිතිඥ රත්නසිරි කළුපහන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගීවිය.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම අනුව දැරණියගල මාලිම්බොඩ තේ වතු යායේ දී මෙම නව වතු නිවාස 170 ඉදිකෙරේ.

බොගවන්තලාව වැවිලි සමාගමට අයත් ඉඩමක මෙම නව නිවාස ඒකක ඉදිවේ.“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති වැඩ සටහනට මෙම වතු නිවාස 170 ව්‍යාපෘති ඇතුළත් වේ.මේ අනුව, මෙතෙක් කාලයක් කිසිම මූලික පහසුකම්වලින් තොරව ජීවත් වූ වතු නිවාස පවුල් 170 කට කිසිම මුදල් ගෙවීමකින් තොරව නව නිවාසවල හිමිකරුවන් වීමට අවස්ථාව උදාවේ.ඉදිකෙරෙන මෙම නව නිවාස මහල් 02 කින් සමන්විත වේ. නිවසකට නිවසක් දුරස්ව මුහුණ ලා සිටින ආකාරයට ඉදිවන මෙම නිවාස ඒකකයකට නිවාස 08 ක් ඇතුළත් වේ. එක් නිවසක වර්ග අඩි ප්‍රමාණය 550 කි.ඉදිකෙරෙන සෑම නිවසක් සඳහාම ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම්වලින් යුක්ත වන අතර එක් නිවසකට කාමර 02 ක් මුළුතැන්ගෙයක් සහ විසිත්ත කාමරයක් ඇතුළත් වේ.ඉදිකෙරෙන නව නිවාස එකම ස්ථානයක ඉදිකිරීම වෙනුවට, ස්ථාන කිහිපයක ඉදිකිරීම මෙහි ඇති විශේෂත්වයකි. ඒ යටතේ පුද්ගල නිදහස, පවුලේ නිදහස මෙන් ම පොදු නිදහස තවදුරටත් ආරක්ෂා වන බව මාළිම්බඩ වතු යායේ පාලනාධිකාරිය ප්‍රකාශ කරයි.එසේ ම සුදුසු සහ ගැලපෙන කුඩා කණ්ඩායම් ලෙස සිටීම ජීවත්වීමට සුදුසු සබදතා සහ ගැලපෙන තත්වයන් මෙන් ම යහපත් පරිසර තත්වයක් ද ඇතිවන බව ඔවුන් විශ්වාස කරයි.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සමඟ ඉන්දියානු රජයේ ආධාර මත මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ.