ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර හෙට විවෘත කෙරේ

Business Featured Political Sri Lanka

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අළුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට (12) දින සවස 5.00 ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයෙකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියක් වන නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල වත්මන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි කාලයෙහි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

විදේශ ආයෝජන දිරි ගැන්වීමේ අරමුණ උදෙසා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2017 වසර තුළදීය. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ දී මෙහි වැඩ අතරමඟ නැවතුණු අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම නිසා යළි මෙහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කර එහි පළමු අදියර මෙසේ විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදී.