රුපියල් මිලියන 67 ක වියදමින් ගම්පහ උද්භිද උද්‍යානයට නව ප්‍රවේශ පාළමක්

Featured Political Sri Lanka

සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය ඇරඹේ. මාර්ග, පාලම්, තොරතුරු මධ්‍යස්ථාන, වැසිකිළි කැසිකිළි ඉදි කිරීම සදහා මේ යටතේ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දිවයින පුරා පිහිටි ප්‍රධාන සංචාරක කලාප තුළ මෙන්ම නව සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස හදුනාගෙන ඇති ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පවසන ඇමතිවරයා මේ වසර තුළ එම සංවර්ධන කටයුතු ඇති කිරීමට නියමිත බව ද පෙන්වා දෙයි.

ගම්පහ අස්ගිරිය හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ නව ප්‍රවේශ පාළම ඉදි කිරිමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා පසුගියදා (12) මේ බව සදහන් කළේය.

ගම්පහ – ජා-ඇල ප්‍රධාන මාර්ගයේ සිට ගම්පහ මල්වත්තට පැමිණීම සදහා අත්තනගලු ඔය හරහා මෙම නව ප්‍රවේශ පාළම ඉදි කෙරේ. ඒ සදහා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ ග්‍රාමීය භූමි ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 45 ක මුදලක් වෙන් කර තිබේ. ජාතික උද්භිද උද්‍යානයේ ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 16 කි. දිග මීටර් 30කින් යුතු මෙම නව පාළම දින 210 කින් අවසන් කිරීමට නියමිතය.