අගමැති මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයේ දෙදින රාජ්‍යතාන්ත්‍රික සංචාරයක

Featured Political Sri Lanka

බංග්ලාදේශ මහජන සමූහාණ්ඩු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2021 මාර්තු 19 සහ 20 යන දෙදින බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක නිරතවෙයි.

බංග්ලාදේශ ජනරජයේ ජාතියේ පියා ලෙසට සැලකෙන බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ ජන්ම ශත සංවත්සරය හා බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීමට සමඟාමීව අග්‍රාමාත්‍යතුමාගේ මෙම සංචාරය සිදු වනු ඇත.

කොවිඩ්-19 වසංගතය වැළැක්වීමේ පියවරයන්ට අනුකූලව ජෛව සුරක්ෂිත සංචාරක බුබුලක් ලෙස දැඩි සෞඛ්‍යාරක්ෂිත පූර්වෝපායන් අනුගමනය කරමින් බංග්ලාදේශයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරය සිදු කිරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබේ.


බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ මැතිතුමාගේ 100 වන ජන්ම දිනය සහ බංග්ලාදේශයේ නිදහස් ස්වර්ණ ජයන්තිය සැමරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද “මුජිබ් වර්ෂය” නිමිත්තෙන් සිකුරාදා (මාර්තු 19) දින පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශනයක් පැවැත්වීමට නියමිතය.


මෙම සංචාරයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් අබ්දුල් හමීඩ් මහතා, බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ බැංකුවේ අධිපතිතුමා සමඟ ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *